නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි.

බුදු පියාණන් වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන් බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත් මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළින්දන්ට සැප සම්පත් ලබාගන්නට මග පෙන්වා ඔවුන් සනසාලන්නට ද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන් මෝහයෙන් මිනිසුන් මුලාකරවන්නට දේශනා කළ එකක් නොව මිනිසත් බව ලැබූ මෙම ආත්ම භව දී ම ලබාගත හැකි, ලබාගත යුතු විමුක්තිය, නිදහස, නිවන ලබාදීමට මගපෙන්වීම සඳහාම ඉදිරිපත් කළ දහමකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.

Thursday, December 19, 2013

සිරි දහම - අලෝකෝ උදපාදි

අලෝකෝ උදපාදි

මෙම බ්ලොග් ශීර්ෂයේ  “අලෝකෝ උදපාදි” යන්න මුලින්ම තේරුම් ගනිමු.
මෙය ශුද්ධ මාගධී වචනයකි. එය “ආලෝකෝ” නොව “අලෝකෝ” වේ. 
අලෝක තේරුම් ගන්නට කළින් ලෝක යන වචනය තේරුම් ගත යුතුය.
ලෝක යනු අඳුරයි. අපි ඉපදෙමින් මැරෙමින් අනන්ත වූ සංසාරයක ලෝකය
යැයි කියමින් සැරිසරන්නේ අඳුරකයි. ඒ අනුව මේ ලෝක තත්ත්වයෙන්
අලෝක තත්ත්වයට පත්වීය යුතුය. උදපාදි යනු එම තත්ත්වය දැක පහදා
ගැනීමයි. සම්මත ව්‍යවහාරයේ ද ආලෝකය යනු අඳුර නැති යන අර්ථයයි.

 සිරි දහම

සිරි
යනු අතීතයේ බුදු රජාණන් වහන්සේ හැඳින්වීමට භාවිතා කළ වචනයකි.
සිරි මහ බෝධිය යනු බුදු රජාණන් වහන්සේට උතුම් බුද්ධත්වයට පත්වන්නට
උපකාරී වූ බෝධියයි.
සිරි දළදා යනු බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේයි.
සිරි සද්ධර්මය යනු බුදු පියාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ට නිවන් දැකගැනීමට
උපකාරීවන ආකාරයට දේශනා කරන ලද ධර්මයයි.
තවද සිරි යන වචනය යෙදූ දැනුදු භාවිතයේ පවතින වචන රාශියක් ඇත. සමාජ
භාවිතයේ යහපත් හොඳ යන අර්ථය දැක්වීම සඳහා සිරි යන වචනය යෙදූ පදවැල්
වර්තමාන සිංහල භාෂාවේ දකින්නට ඇත. හෙළ මිනිසුනට නම් තැබීමේදී පවා
සිරිපාල, සිරිසේන, සිරියාවතී ආදී වශයෙන් සිරි භාවිතා කර ඇති බව දැකිය හැකිය.
සිරි ලංකාව (දැන් ශ්‍රී ලංකාව) යනු බුදුන් උපන් රටයි.

ඒ අනුව සිරි දහම අවබෝධ කරගෙන ඔබටත් අලෝකෝ උදපාදි වන්නට
සියළු ශක්තිය ලැබේවා ! ඒ සඳහා මෙම බ්ලොගය තුළින් මා ගන්නා වෙහෙස
යන්තමින් හෝ ඔබට උපකාරයක් වේ යැයි සිතමි. සංසාර රෝගයෙන් සුවපත්
වන්නට ඔබට උතුම් ධර්මාවබෝධය ලැබේවායි ඉත සිතින් අධිට්ඨාන කරමි.

1 comment:

Nuwan chinthaka said...

සිරි දහමට දිගු ගමනක් යන්නට ධෛර්යය ශක්තිය නිබඳවම ලැබේවා කියා පතමි..

Post a Comment