සං කියල කියන්නෙ එකතු කිරීම, අල්ලා ගැනීම, අයිතිකර ගැනීම, ගොඩගහගැනීම. තවදුරටත් කිව්වොත් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කිරීම යි. මේ නිසා සං උදය වෙනවා. ඒ කියන්නෙ සමුදය වීම. උදය කියල කියන්නෙ උපත ලැබීමක්. අපි කවුරුත් දන්නවා සම්මත වශයෙන් හැම දවසක්ම උපදින්නෙ උදයෙන් කියල. ඒ අනුව සමුදය කියන්නෙ සම්බන්ධයක් උපත ලැබීමයි. මෙතනදි සම්බන්ධ වෙන්නෙ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් නැත්නම් මානයෙන්. එතකොට මේ සම්බන්ධය ඇතිකරගන්නෙ පුද්ගලයෙකුගෙ කාය, වචනය හා මනස මගින්. මේ තුන්දොරින් ඇතිකරගන්නා සම්බන්ධය (සමුදය) නිසා කෙනෙකු සංසාරයට බැඳෙනවා.
සංසාරය
මේ සං තමයි, පෘතග්ජන මිනිසුන්ට සාර. ඒක තමයි “සංසාරයි” කියල කියන්නෙ. “අනේක ජාති සංසාරං” කියන්නෙ ඒකයි. බුදුහාමුදුරුවොත් බෝසත් කාලෙ හිතාගෙන හිටියෙ සං සාරයි කියල. හැබැයි බුදුවුනාට පස්සෙ තේරුණා මේක අසාරයි, නිස්සාරයි, අනාථයි කියල. “අසාරත්ථෙන අනාතං”. මේක තේරුම් ගත්තොත් මේ එකක්වත් උපාදානය කර ගනියි ද?